Welcome to our website !

හිසට කුඩයක් නොඉහලුනු කොලු ගැටයා

By 8:09 PM

අපි හිතන විදියට ජීවිතේ දේවල් වෙන්නේ නැහැ. එත් වෙන දේවල් එක්ක අපි ජීවත් වෙන්න ඕන. මේ කියන්න යන්නෙත් හිතන විදියටම දේවල් ජීවිතයට ළං නොවුණු කතාවක් ගැන. මේක සිද්ධ වෙන්නේ වෙන කොහේවත් නෙවෙයි. කොළඹ කොටුව බස් ස්ටෑන්ඩ් එකේ.

         කොළඹ කොටුව ඉදන් කාඩවත බස් එකට ගොඩ උන මං වාඩි වුණේ ඉස්සරහ සීට් එකේ ඉදන් සීට් තුනක් ඇරලා. සිට් එකේ අයිනෙම වාඩි වෙලා ජනෙල් කවුලුවකුත් ඇර ගත්තා. ලොකු අවකාශයකින් බලනවට වඩා පුන්චි කවුලුවකින් බලන දුර හරි ලස්සනට පේනවා. වැඩි සෙනගක් හිටියේ නැති නිසා ටික වෙලාවක් බස් එක එතනම රැදුණා.

            කලබල සෙනඟ අස්සේ ඒ කොන මේ කොන දුවන මගේ ඇස් එක තැනක නැවතුනේ ඉබේටම වාගේ. මද්ධාහන මහ අවුවේ දහඩිය පෙරාගෙන කැඩිච්ච කුඩ මහන අහින්සක මනුස්සයෙක්. අනිත් මිනිසුන්ගේ ඉහට සෙවනක් දෙන්න අවුව වැස්ස නොතකා මේ තරම් දුක් විදින , කැපවෙන මේ මිනිසුන්ගේ අතට ලැබෙන්නේ සොච්චම් මුදලක්.

            නිතර නිතර ඒ ඇස් තමන් ලග තිබුන කූඩයක් දිහාවට එබෙනවා තුන් හතර වතාවක්ම දැක්ක නිසා මම සීට් එකෙන් මදක් ඉස්සිලා ඒ දිහා බැලුවා. සිනිදු කසී සලු එලපු සිරි යහන් නැති වුණාට පුන්චි කොලු පැටියෙක් ඒ කූඩය ඇතුලේ සුව නින්දක. කාගෙවත් කුඩ මහලා දුන්නට ඒ එක කුඩයක්වත් මේ තාත්තාගෙයි  පුතාගෙයි ඉහට උඩින් ඉහලුනේ නැහැ. පපුව පුරා විදුලියක් වගේ ඇදිලා ගිය දෙයක් එක පාරටම හිර වෙනවා වගේ දැනුනා.

        ජීවිතය ජීවත් කරවන්න මිනිස්සු කොතරම් වේදනාවක් විදිනවාද? තවත් ඒ ගැන හිතන්නට මිස දකින්නට ඉඩක් නොතබාම 138 බස් එක ඉදිරියට ඇදුණා......

You Might Also Like

0 comments