Welcome to our website !

ඈ බල්ලාටද, පූසාටද, මටද අම්මාය...!

By 11:17 PM


නවම් පෝයටද මදක් ඉහත්තේ සිට අපේ බල්ලාගේ කල් ක්‍රියාව ගැන හිත කළකිරී සිටි අපේ අම්මා ඌට තරවටු කරමින්
"හිටපංකෝ, අවුරුද්දට රතිඤ්ඤා පැකට් එකක්ම ගෙනත් පත්තු කරනවා උඹට දුවන්න! පැත්ත පළාතේ නොයිද! නැත්නං අර බැල්ලි එක්ක රවුම් ගහලා ඒ පැටව් බලාගන්න වෙන්නෙත් මට" කියා අවස්ථා කිහිපයකම බැණ අඬගැසූ නමුත් බල්ලා ඒ වෙලාවට කර බාගෙන ඉද පසුව ඌට පුරුදු වල් කමේම යයි.
ඊයේ දහවලේ සිට වටේ ගෙවල් වල පොඩි උන් (මොන පොඩි උන්ද? උන් බයේ හඬද්දී මහ එවුන්) විටෙක රතිඤ්ඤාද, විටෙක බට්ටෝද, විටෙක චීන පටස්ද, විටෙක අහස්කූරුද පත්තු කරනු ඇසී බල්ලා වෙල්ලමුල්ලවයික්කාලයේ සිටි බල්ලන්ටත් වඩා බිය වී ඇති අතර ඌ රටපුරා දීවීමට දගලයි.
මෙතෙක් මාස දෙකකුත් ඊට මදක් වැඩි කාලයක් බල්ලාට රතිඤ්ඤා දැමීමට අදිටන් කරගෙන සිටි අම්මා අද සියලු වැඩ අතහැර ඌව රතිඤ්ඤා සද්දයෙන් ගලවාගෙන අවුරුදු පහුවෙන තුරුම ගේ ඇතුලේ හංගාගෙන සිටීමට තැනක් සොයයි. ඌ ගැනම සොයයි. රතිඤ්ඤා දාන උන්ට බනියි!
ඉදින් මට සිනහා පහළ විය.
කාලා බීලා හිටියට කමක් නෑ.. පැටව් ගහන්න ආවොත් උඹව ගෙනිහින් දානවා කනත්තට. ඒ අම්මා අපේ පූසිය වැඩිවියට පත්වූ දින වකවානුවල දුන් අවවාදයයි! පාරේ එහෙන් මෙහෙන් ගිය කලු බලලා සමග කතාවට පැටලුනු පූසී දැන් ගැබිණියකි. පූසියව කනත්තට දක්කනවා වෙනුවට අම්මා දැන් ඇගේ ගැබිණි සමය සුවපහසුවට ගත කිරීමට පහසුකම් සලසා ඒකිගේ පැටවුන්ට සිටීමට ලොකු මාරි බිස්කට් පෙට්ටියක පරණ ඇද රෙද්දක් දමා සුව පහසුවට සකසාද අවසන්ය.
අම්මා බල්ලාට සහ පූසාට දාන තියරිය මා කෙරෙහි සපුරා වෙනස් ය. දැන් කලකට ඉහත්තේ සිට "අර දුවව අද බලන්න යන්නේ නැද්ද? - අර දුව බලං ඉන්නවා ඇයි අද යන්නේ නැද්ද? - ඇයි ඒ ලමයට එහෙම කතා කරන්නේ? ඒ ලමයට මොකුත් අරං දුන්නේ නැද්ද? - පුතේ මංගල්ලේ වැඩටික ලබන අවුරුද්දෙවත් ඉවර කරමුද? යනුවෙන් බොහෝ බොහෝ ප්‍රශ්ණය.
අපේ අම්මා ක්‍රියාවෙන් හැම විටම කාරුණිකය.
ඒත් අපේ අම්මාට මට සලකන ලෙස අපේ බල්ලාටද, පූසීටද වාචික කාරුණිකතාවයකින් සැලකිය නොහැක්කේ මන්ද? අපේ අම්මාගේ බැණ අඬගැසීම් වලින් තොරව ඒ පූසීත් බල්ලාත් සාර්ථක විවාහ ජීවිත ගතකරන්නේ කවදාද? මේ අවුරුද්දේ මට ඇති ප්‍රශ්ණය එයයි!

You Might Also Like

0 comments